ජර්මනියේ පාර්ලිමේන්තු මහ ලේකම් හා අගමැති හමුවෙයි

Share

ජර්මනියේ පාර්ලිමේන්තු මහ ලේකම් සහ එරට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උප අමාත්‍ය ස්ටෙෆන් බිල්ගර් (Hon. Steffen Bilger) මහතා ඊයේ (29) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ප්‍රවාහන, ගුවන් සේවා ආදී ක්ෂේත්‍රයන්හි ජර්මානු සහය ලබා ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනුණු අතර, ගෝලීය දේශගුණික වෙනස් වීම්, හරිත හා පුනර්ජනනීය බලශක්ති, තිරසර සංවර්ධනය ආදී කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරලීමේ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳව අග්‍රාමත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු පෙන්වා දුන් අතර, පියවරෙන් පියවර ඒ ඉලක්කය වෙත ගමන් කිරීම පිළිබඳව බිල්ගර් මහතා ප්‍රසාදය පළ කළේය.

ඒ සඳහා ජර්මනියේ පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජර්මනියේ ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් වන බෙනඩික්ට් ජෙනිච් (Mr. Benedict Janich),  ආචාර්ය ජෝචිම් අයිචෝන් (Dr. Joachim Eichhorn), ජර්මනි තානාපති කාර්යාලයේ නියෝජිත ඇන්ඩ්රොක්ස් බර්ග් (Mr. Andrecs Berg), කොළඹ පිහිටි ජර්මානු වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ එන්ඩ්රිගයස් හර්ගන්රෝකර් (Mr. Andreas Hergenrochar) යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Read more

Local News