නියෝමාල් හා එමිල්ට එරෙහි නඩුව විභාග කරන්න දින නියම කරයි

Share

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් සිදුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළේය.

මෙම නඩුව අද (30) ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ එම නඩුව ඔක්තෝබර් මස 14 වැනිදා සිට සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල විභාගයට ගන්නා බවයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් සමහරක් අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත ප්‍රකාශ කීපයක් ලබා දී ඇති බවත් එම ප්‍රකාශවල පිටපත් තමන් වෙත ලැබි නොමැති බව සඳහන් කළේය.

එවැනි ප්‍රකාශ තිබේනම් ඒවා විත්තියේ නීතිඥවරු වෙත ලබාදෙන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව ඔක්තෝබර් මස 14 වනදා සිට විභාගයට ගන්නා බව නියම කළේය.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබේ.

මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා වල සඳහන් වෙයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

Read more

Local News