සෞඛ්‍ය ගැටළු කඩ්නම්න් විසඳන බව රාජිත කියයි

Share

අවසන් වරට රෝහල් වෙත පත්වීම් ලැබූ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරින්ගේ පොදු සංගමයේ කමිටු සාමාජිකයන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරින් හමුවිය.

එහිදී එම සංගමය විසින් සිදු කළ ඉල්ලීම් රැසකට සාර්ථක ප්‍රතිපල ලැබුණු බව එහි සභාපති වෛද්‍ය ගයාන් ගමගේ මහතා පවසයි.

ඔහු පවසන්නේ මේවන විට වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන පෙළේ සංගම් සම්පූර්ණයෙන්ම දේශපාලන භූමිකාවක නිරතවන නමුත් සැබෑවටම වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසින බවයි.

කිහිපදෙනෙකුගේ ඕනෑ එපා කම් වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා රෝගී ජීවිත බිල්ලට ගැනීමේ පිලිවෙතක් නිරීක්ෂණය වෙමින් ඇති බව ඔවු පෙන්වා දෙයි.

මෙරට වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු රෝගීන් අවදානමකට ඇද දමන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙල ගැසෙන පවද ඔහු පවසයි.

නැවතත් වෛද්‍ය සංගම්වල වෘත්තීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ම පෙළගැසෙන පසුබිමක වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් සේවා සැලසීම මෙන්ම රෝගී ජීවිත දෙස වඩා සානුකම්පිතවන වෛද්‍ය පරපුරක් මෙරටට අවශ්‍යව තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වෛද්‍ය නිලධාරින්ගේ පොදු සංගමය අතර පැවති සාකච්ඡාවේදී මේ වන විට පවතින සීමාවාසික වෛද්‍ය පත්වීම් පිළිබඳ අවධානය යොමු කෙරුණා.

එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහතික කළේ කඩිනමින් එම ගැටළුව විසඳා දෙන බවයි.

එමෙන්ම නවක වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම පිළිබඳවද අමාත්‍යංශය පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලබා දුන් බවයි වෛද්‍ය නිලධාරින්ගේ පොදු සංගමයේ වෛද්‍ය ගයාන් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මෙරට නවක සහ ලාබාලතම වෛද්‍යවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට මෙම නවතම වෛද්‍ය වෘත්තීය සමිතිය පිහිටුවා ගැණුනු බව සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය ගයාන් ගමගේ මහතා පැවසීය.

තම සංගමය කිසිම දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී නොසිටින අතර කිසිදු විටෙක තම අරමුණු දිනා ගැනීම සඳහා රෝගී ජීවිත බිල්ලට නොගන්නා බවත්, එම අරමුණු සාධාරණව ඉටු කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම වෛද්‍ය නිලධාරින්ගේ පොදු සංගමයේ සාමාජිකත්වය දැනටමත් වෛද්‍යවරුන් විශාල පිරිසක් ලබා ගෙන ඇති බවත් සමස්ත වෛද්‍ය ප්‍රජාවටම අත්වැල් බැඳ ගැනීමට ආරාධනා කරන බවත් වෛද්‍ය ගයාන් ගමගේ මහතා ප්‍රකාශ කළා. දේශපාලනීකරණයෙන් තොරව වෛද්‍ය වෘත්තිය නගා සිටුවීමට අපේකෂා කරන නවක සීමාවාසික වෛද්‍ය සහෝදර සහෝදරියන්ටත් වෛද්‍ය නිලධාරින්ගේ පොදු සංගමය සමග එක් වීමට ආරාධනා කරන බවයි සභාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News