පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනපතිගේ කැමැත්ත

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පල කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා දැනුම් දෙන දිනයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම හමුව පැවැත්විමට බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පල කර ඇති අතර ඒ සඳහා දිනයක් දැනුම් දෙන බව  ද එම කාරක සභාව දැනුම්වත් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ඊයේ(02) දිනයේ රැස්වි සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදි අදාළ වාර්තාව සකස් කිරිම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කමිටු සාමාජිකයින්ගේ අදහස් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී යළිත් කමිටු සාමාජිකයින් රැස්වි එම වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය සති දෙකකින් පමණ දීර්ඝ කරගැනීම පිළිබඳව ද මේ වන විට අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

Read more

Local News