වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස දී

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (04) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම පැමිණිල්ල අද ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරුවකු වූ ගාමිණී වියන්ගොඩ මහතා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර තිබේ.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වනදාට කල් තැබුවේය.

පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් විවේචනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් පසුගිය කාලයේ කොළඹ පැවති මහජන රැළියකදී අදහස් දක්වා ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් නඩු විභාගයක් පවත්වා ඒ වෙනුවෙන් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News