පොලිස්පතිගේ දිවුරුම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Share

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම නඩුවලට අදාළව ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද යළි සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා මෙම විරෝධතාව මතු කළේය.

මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළිත් සිදුකෙරුණි.

එහිදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවලට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර ඔහුගේ දිවුරුම් පෙත්සමේ වගන්ති තුනක් මගින් නීතිපතිවරයා, ජනාධිපතිවරයා සමඟ එක්ව පොලිස්පතිවරයාට එරෙහිව නඩුවක් ගෙතීමට කුමන්ත්‍රණය කර ඇතැයි චෝදනා කර තිබෙන බව සඳහන් කර සිටියේය.

එම කුමන්ත්‍රණය සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ බලගතු දේශපාලන තැනැත්තන් කිහිපදෙනෙකු අවුල් වී තිබෙන බවට ද පොලිස්පතිවරයා සිය දිවුරුම් පෙත්සම මගින් කරුණු දක්වා තිබෙන බව සඳහන් කළ නීතිපතිවරයා මෙම චෝදනාව මුළුමනින්ම පදනම් විරහිත, අසත්‍ය මෙන්ම ද්වේශ සහගත බව කියා සිටියේය.

Read more

Local News