අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම ගැන සලකා බලනවා – සිංගප්පූරු රජය කියයි

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම සම්බන්ධයෙන් වන ඉල්ලීම පිළිබඳ සලකා බැලීමේ හැකියාව පවතින බව සිංගප්පූරු රජය පවසයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය  ප්‍රකාශ කර ඇත්තේ ‍නියමිත ලිපි ලේඛන ලැබීමෙන් පසු පිටුවහල් කිරිමේ ඉල්ලීම පිළිබඳව සිංගප්පූරු නීතියට අනුකූලව කටයුතු කරන බවයි.

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරිම සම්බන්ධයෙන් වන ඉල්ලීමට අදාල ලියකියවිලි ලබා දෙන ලෙස මේ වසරේ ජනවාරි මස 18 වනදා සිට ඉල්ලීම් සිදු කර තිබුණ ද ඒවා සිංගප්පූරු රජය වෙත මේ වන තෙක් ලැබී නොමැති බවට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ද තහවුරු කර ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුවේය.

ඒ අනුව එම නඩු විභාගය සඳහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උදර්පන ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පසුගිය දෙවනදා භාරදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

එම උදර්පන ඉල්ලීමට අදාල පිටු 21,000කින් යුතු ලේඛනය ඉදිරියේදී සිංගප්පූරු රජය වෙත භාරදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනු ඇති බවයි ඇය පැවසුවේ.

Read more

Local News