පූජිතගෙන් සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න දින දෙයි

Share

නීතිපතිවරයා විසින් දැඩි විවේචනයට භාජනය කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ලබන 25 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දී ඇත.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඊයේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විරෝධතාවක් මතුකරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ එක්ව තමා පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩුවක් ගෙතීමට කුමන්ත්‍රණය කර තිබෙන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව තිබෙන බවයි.

එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය , ද්වේශසහගත සහ අපහාසාත්මක බව සඳහන් කළ නීතිපතිවරයා එබැවින් එම දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අදාළව ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේ මෙම කාරණය මෝසමක් මාර්ගයෙන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අදාළ මෝසම අධිකරණයට ඉදිරිපත් කර ලදී.

ඒ පිළිබඳව කරුණු සලකා බැලීමෙන් පසුව වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පොලිස්පති වරයාගේ ප්‍රශ්නගත දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට වෙනත් අධිකරණ වල ද නඩු කටයුතු පවතින හෙයින් එවැනි සංශෝධනයක් සිදු කළොත් ඔහුට යම් අගතියක් සිදු විය හැකි බවයි.

එහෙත් ප්‍රශ්නගත කරුණු මත පදනම්ව දේශන ඉදිරිපත් නොකිරීමට තමා වගබලා ගන්නා බවද නීතිඥ කොරයා මහතා සඳහන් කළේය.

එහිදී ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා කරුණු දක්වමින් නඩුවක ඕනෑම පාර්ශවයක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකිරීමට වගබලාගත යුතු බව සඳහන් කර ඇත.

මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කර සිටියේ සංශෝධිත දිවුරුම් ප්‍රකාශ සහ විරෝධතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  තමාට සිය සේවාදායකයා ගෙන් උපදෙස් ලබාගත යුතු බවත් ඒ සඳහා කාලය ද අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ස්ථාවරය ලබන 25 වනදා අධිකරණය වෙත දැනුම් දෙන මෙන් නීතිඥ විරාන් කොරයා මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read more

Local News