උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරන සිසුන් සංඛ්‍යාව ඉහළට

Share

පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව 2018 වසරේ දී උසස් පෙළ හදාරන සිසුන් අතරින් විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඇතුළත් ව සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2014 වර්ෂයේ සිට මේ දක්වා අ.පො.ස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා ඇතුළත් ව ඇති ශිෂ්‍ය සංඛ්‍යාව අනුව මේ බව තහවුරු වෙයි.

ඒ අනුව, 2014 වර්ෂයේ  විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා කරයි.

වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් විද්‍යා අංශය වෙත නැඹුරු වී ඇති බව ඒ අනුව පෙනී යයි.

සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යා විෂයය සමත්වන ප්‍රතිශතය එක් එක් වර්ෂයට අදාළ ව උච්චාවචනය වීමක් පෙන්නුම් කළ ද, සිසුන් උසස් පෙළ හැදෑරීමට විද්‍යා විෂය තෝරාගැනීමේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සාධනීය තත්ත්වයකි.

විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ සමාජමය අවබෝධය, අනාගත  රැකියා ලෝකය තුළ එම ක්ෂේත්‍රයෙන් පවත්නා රැකියා අවස්ථා සහ ඉහළ අධ්‍යාපන අවස්ථා, ආදී හේතූන් මෙන් ම විද්‍යාව විෂය වෙත පාසල් සිසුන් වඩාත් ආකර්ෂණීය කරවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකාලීන ව ගෙන ඇති සුවිශේෂ ක්‍රියාමාර්ග ද සිසුන්ගේ විද්‍යා අධ්‍යාපන නැඹුරුවට හේතු වී ඇති බව මේ අනුව පැහැදිලි වෙයි.
එම ක්‍රියාමාර්ග අතර,

මෑතකාලීනව ක්‍රියාවට නංවන ලද විද්‍යා ගුරුවරුන්, ගුරු උපදේශවරුන් හා විද්‍යා විෂය අධ්‍යක්ෂවරුන් සඳහා විෂයානුබද්ධ හා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන්

විද්‍යා විෂයට අනිවාර්ය ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යාගාර නොමැති ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් 3000ක් සඳහා ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීම

විද්‍යාවේ නව ප්‍රවේශයන් හඳුන්වාදීම සඳහා විද්‍යා ගුරුභවතුන්, ගුරු උපදේශකවරු හා නිලධාරීන් සඳහා විදේශ පුහුණු අවස්ථා සැලසීම

පාසල් සිසුන් තුළ පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමත් වැඩි සිසුන් පිරිසක් විද්‍යා විෂය  කෙරෙහි නැඹුරු කිරීමටත් ‘අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා’ තරගාවලිය සඳහා සිසුන් පුහුණු කොට යොමු කිරීම

පළාත් මට්ටමින් හා කලාප මට්ටමින් ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික පුහුණු වැඩමුළු පැවැත්වීම සහ

විද්‍යා විෂයට සම්බන්ධ විවිධ ආයතන සමග එක් ව විද්‍යා ගුරුවරුන් සහ සිසුන්  සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ආදී ක්‍රියාමාර්ග සිසුන්ගේ විද්‍යා අධ්‍යාපන නැඹුරුව සඳහා ඉහළ පෙළඹවීමක්  ඇතිකිරීමට සමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Read more

Local News