ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම්

Share

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතී.

මේ යටතේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට පත්වීම් ප්‍රදානය කෙරේ.

සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත් ය.

මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 08 වැනි දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

2015-05-08 දිනැති ගැසට් නිවේදනයේ විධිවිධානවලට අනුකූල ව, මෙම විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව 2018 වසරේ පාසල් පද්ධතිය තුළ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගුරු අවශ්‍යතාව පදනම් කරගනිමින් මෙම ශික්ෂණලාභීන් බඳවාගනු ලැබිණි.

මීට අමතර ව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  2016/2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ඒ අනුව ශික්ෂණලාභීන් 8000ක් බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් 25 වන දින සිදුකිරීමට නියමිත ය.

එමෙන් ම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව 2018 වසරේ සිට රුපියල් 3,500 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් පියවර ගෙන ඇත.

Read more

Local News