මහනාම සහ පියදාසට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට

Share

රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය හෙට (10) සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

මෙම නඩුව අද (09) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට අදාළ සංශෝධිත චෝදනා පත්‍රයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

විත්තියේ නීතිඥවරු සඳහන් කර සිටියේ සංශෝධිත චෝදනා පත්‍රය පිළිබඳව කරුණු අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමකට අනුව නඩුවේ සාක්ෂි විභාගය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකාර ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාගරාජා මහතා ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණය එම ඉන්දියානු ජාතිකයාට නියෝග කර සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාදය ඇතුලත් ඔහු සතුව තිබෙන ජංගම දුරකථන දෙක හෙට දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

2018 වසරේ මැයි මස නව දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නමිකර තිබේ.

ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර ඇත.

Read more

Local News