සහජ දක්ෂතා ඇති දරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා – රවී

Share

අවම පහසුකම් යටතේ ඉගෙනුම ලබන සහජ දක්ෂතාවන්ගෙන් පිරුණු දරුවන් වෙනුවෙන් උපකාර කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, මාධ්‍ය මගින් පළවූ ප්‍රවෘත්තියක සඳහන් වූ පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ උහන තිස්සපුර විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂතා ඇති අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගක් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිද අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අම්පාර, උහන, තිස්සපුර විද්‍යාලය මුල්‍ය සම්පත් අතින් ඉතාමත් පහළ මට්ටමක පවතින විද්‍යාලයක්. මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රවෘත්තියට අනුව එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සහජ දක්ෂතා සහිත දරුවන් සිටින බවත්, ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් අතහිත දීමට කිසිවෙක් නොමැති බවත් දැනගන්නට ලැබුණා. ඒ අනුව එම තත්ත්වයන් පිළිබදව සොයා බැලීමේදී ඔවුන්ට සැබැවින්ම උපකාර කළයුතු බව පැහැදිළි වුණා.

ජාති, ආගම් භේද නොසලකා, රටේ හැම කොනකම සිටින මේ ආකාරයේ මූල්‍ය සම්පත් නොමැති, සහජ දක්ෂතා සහිත දරුවන් වෙනුවෙන් උපකාර කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.” යැයි පැවසීය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවේදී, අමාත්‍යවරයා විසින් ක්‍රිඩා කුසලතා ඇති දරුවන්ගේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් රු. 100,000.00ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

වොලිබෝල් ක්‍රීඩාව තුලින් 2016 වසරේ සිට මේ දක්වා වසර 03 ක් අඛණ්ඩව ශූරතාවයන් හිමිකර ගත් තිස්සපුර විද්‍යාලය, 2016 වසරේ එක් ශූරතාවයක්, 2017 වසරේ ශූරතා 02 ක් සහ 2018 වසරේ ශූරතා 03 ක් වශයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින්, මේ වසරේ දිස්ත්‍රික් සහ පළාත් ශූරතා හිමිකර ගනිමින් කණ්ඩායම් 10 ක් සමස්ත ලංකා ශූරතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News