පොල්ගහවෙල, ඔරලියද්ද ප්‍රදේශයේ දී පොල්ගහවෙල පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත කෑගල්ල බන්ධනාගාරයෙන් පලා ගොස් සැඟව සිටි සැකකරු අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
සැඟව සිටි මෙම සැකකරු බෝර 12 පතරොම් තුවක්කුවක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 38 ක් වු මිලාන්, නාත්තන්ඩිය, තබ්බෝව ලිපිනයේ පදිංචි කොළඹගේ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු හෙවත් ජීවන්ත යන අයෙකි.
සැකකරු 2018.02.25 වන දින පොල්ගහවෙල පොලිස් වසමේ දී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමක් සම්බන්ධයෙන්, 2018.12.20 වන දින පොල්ගහවෙල පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් කෑගල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය දී 2019.02.09 දින පලා ගොස් තිබේ.
සැකකරුට සැඟව සිටිම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනා ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.