අද විවෘත වන නෙළුම් කුළුණ

Share

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (16) විවෘත කෙරෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ උත්සවය අද පස්වරු 5.00ට පැවැත්වෙන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.

ඉතිරි පිරිවැය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරා ඇත.

මීටර් 244ක උසකින් යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුණේ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන අතර එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, ශ්‍රීපාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ.

කුළුණෙහි පළමු සහ දෙවන මහල් දෙකම වෙන් කර ඇත්තේ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන්.

නෙළුම් කුළුණේ 3 වන සහ 4 වන මහල් වෙන් කර ඇත්තේ උත්සව ශාලා දෙකක් සඳහායි.

එමෙන්ම, කැරකෙන අවන්හල නෙළුම් කුළුණෙහි වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනවා.

කුළුණෙහි 7 වන මහල වෙන් කර ඇත්තේ කොළඹ මනරම් පරිසරය ගුවනේ සිට නැරඹීමටයි.

 

 

 

 

 

 

Read more

Local News