තලතා අධිකරණ ඇමතිවරිය වුනාට පස්සේ මොකද වුණේ ?

Share

අධිකරණ ක්ෂේත්‍රයට වැටුප් වර්ධක වැඩිවීමක් දුන් පසු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ට එය නොමැති බව පවසන්නට පටන් ගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඔවුන් නිදහස් අධ්‍යාපනයේ උරුමක්කාරයෝ බව ඔවුන්ට අමතක වී ඇති බවද අමාත්‍යවරිය පවසීය.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත් කිරීම යටතේ බලංගොඩ මැද්දේකන්ද විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (16) පෙරවරුවේ එක්වෙමිනි.

විනිශ්චයකරුවන්ට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට මෙන් පෞද්ගලිකව මුදල් සේවීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

වර්ථමාන රජය විසින් කෙනෙකුට වර්ජනය කිරිමේ නිදහස අයිතිය ලබා දී ඇති බවද ඇය පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“සබරගමුව වෛද්‍යපීඨය පටන් ගත්තායින් පස්සේ රත්නපුර රෝහලේ කණිෂ්ඨ සේවකයින් දෙන්නෙක් කිවුවා මේ පිනම ඇති අගමැතිතුමාට කියලා මොකද ඒ දෙන්නගේම ළමයි දෙන්නා වෛද්‍ය පීඨයට තේරිලා. අපි හරිදේ කරන්න ඕන. අපි දේශපාලන අධිකාරිය හැටියට අපි මේවගේ සදාකාලිකව ඉන්නේ නැහැ.

දැන් බලන්න මම අධිකරණ ඇමති වුණාට පස්සේ බොහොම උවමනාවෙන් අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න විනිශ්චයකාර තුමන්ලාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමක් කළා. ඒ වැටුප් වැඩි කිරීම කළේ අවුරුදු 15 කට පස්සේ. ඔබ සියලුදෙනාම තේරුම් ගන්නවා ඉතාම ස්වාධීන අධිකරණයක් අපි අද ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඉස්සර වගේ ටෙලිෆොන් කෝල් එහෙමත් නැතිනම් අපිට ඕන දේ කරන්න පයිල් හන්ගන්න මේවා කාටවත් අද බැහැ. අද කාටත් එකයි. හැබැයි ඊයේ පෙරේදා වෙන කොට අද අලුත් කථාවක් ඇවිල්ලා. අධිකරණ ක්ෂේත්‍රයට විතරක් වැටුප් වර්ධක වැඩිවීමක් දුන්නා ඇයි අපිට නැත්තේ කියලා අපි ගොඩාක් උසස් කියලා හිතන වෛද්‍ය වෘත්තිකයින් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්න පටන් අරන් තියෙනවා. දැන් ඒ ගොල්ලන්ට අමතක වෙලා තියෙනවා ඒ අය මේ නිදහස් අධ්‍යාපනයේ උරුමක්කාරයෝ කියලා.

නඩු අහන නඩුකාර උන්නාන්සේලාට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ ගොල්ලන්ට වගේ හැන්දෑවට චැනල් එකට යන්න බැහැ කියලා. පුද්ගලිකව පෙනී හිටලා ආදායම් මාර්ග ඒ ගොල්ලන්ට නැහැ කියලා. සමහර වෙලාවට මේ වෛද්‍යවරු රටට ණය ගැති අය. අද මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ මේ වෘත්තිය ගරුත්වයත් නැතිකරලා දාලා මේ තමන්ගේ අවශ්‍යතාවයටයි. අධිකරණ ක්ෂේත්‍ර යේ වෛද්‍ය වෘත්තියයි කිවුහම දෙකක්.

අධිකරණයට පහසුකම් තිස්සේ කවුරුවත් ලබා දුන්නේ නැහැ. මං ඒ ගැන සන්තෝෂ වෙනවා. හැබැයි පහසුකම් ලබාදීලා අද වෙනකල් නඩුකාරතුමන්ලාට දුරකථන ඇමතුම් දීලා නැහැ. මේක මෙහෙම කරන්න කියලා. ඒ නිසා අපිට බය නැතිව වැඩ කරන්න පුළුවන්. දැන් කියනවාලු අරවිදිහට අපේ වැටුපත් වැඩි වෙන්න ඕන කියලා. උදේ වර්ජන කරනවා. කාර් පර්මිට් එක ඉල්ලනවා. වෙන වෙන දේ ඉල්ලනවා. අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින් ඉගෙන ගෙන වැඩ කරන්නේ නැතිව උදේ වර්ජන කරනවා.

හැන්දෑවට චැනල් එකට ගිහිල්ලා හවසට අවම වශයෙන් රුපියල් විසිපන්දහසක් තිස් දහසක් වත් සාක්කුවේ දා ගෙන යනවා. එහෙම අය තමයි මේ අද වර්ජනය කරන්න හදන්නේ. අපි ඕන කෙනෙකුට වර්ජනය කිරිමේ නිදහස අයිතිය දීලා තියෙනවා. කවුරුත් ගහන්න යන්නේ නැහැ. ඉස්සර වගේ වෙඩි තියන්නේ නැහැ. මරලා දාන්නේ නැහැ. වතුර ඉල්ලපු එකටත් මරපුරටක් මේක යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය “

Read more

Local News