ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි යුද්ධ හමුදාධිපති හමුවේ

Share

ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඊයේ (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහි පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි පිළිගැනීම යුද්ධ හමුදා මූලස්ථාන විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා විසින් සිදු කරනු ලැබීය.

එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර, අනතුරුව හමුදා ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදි.

හමුදා ලේකම් කාර්යාලය අභියස දී ඉන්දියන් ගුවන් හමුදා ප්‍රධානි පිළිගත් යුද්ධ හමුදාධිපති, සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් එතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය.

මෙම හමුවේ දී දෙරටේ සහයෝගිතාව සහ ද්විපාර්ශ්වික වැදගත්කම පිළිබඳව කරුණු සාකච්ඡා කළ අතර, ඉන්දීය ගුවන් හමුදාවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සංචාරක ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර, යුද්ධ හමුදාධිපති සහ එතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Read more

Local News