බූස්ස බන්ධනාගාරයේ නිලධාරින්ගේ ක්‍රියාව ඇගයීමට ලක් වෙයි

Share

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන හා චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තීතිඥ තලතා අතුකොරළ මහත්මියගේ ඇගයිමට ඊයේ(17) දින ලක් විය.

පසුගිය 12 වන දින බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහාමඩ් නජීම් මෙහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් පාතාල රැඳවියාට ලබාදීම සඳහා රැගෙන ගිය ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් සොයාගත් බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී.එම්.කරුණාරත්න, බන්ධනාගාර නියාමකයින් වන ටී.ඕ.කේ.රත්නායක, ඒ.ඩී.ටී.කේ.ආරියදාස, ඒ.ඩී.එල්.එන්.මෙන්ඩිස්, ඒ.ජී.චමින්ද ජයසිරි, වයි.පී.එල්.සම්පත් යන නිලධාරීන් මෙලෙස අධිකරණ අමාත්‍යතුමිය අතින් ඇගයිමට ලක් වුහ.

මෙහිදි අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමිය සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධව සමාජයේ පවතින වැරදි අවබෝධ නැති කිරීම සදහා මෙවැනි නිර්භීත නිලධාරීන් ඇගයීමට ලක් කිරීම හොඳ ක්‍රියාවක් බවයි.

අමාත්‍යවරිය පැවසුවේ ඉදිරියේදීත් මෙවැනි දේ සිදු කරන නිලධාරීන් සදහා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය ඇගයීම් සිදු කර  දිරි ගැන්වීම් ලබාදීමට කටයුතු කරන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ම බන්ධනාගාරයට එල්ල වී ඇති චෝදනා නිවැරදි කර ගැනීමට මෙවැනි ක්‍රියාවන් තුළින් හැකියාව ලැබෙන බවත්, රාජකාරීය නිවැරදි ලෙස ඉටු කරන අය දෙපාර්තමේන්තුවට වටිනාකමක් එක් කරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය මැඩලීම සදහා රජය ගෙන යන වැඩසටහනට තවත් ශක්තියක් මේ තුළින් උදා වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News