මෙෙත්‍රී කී නෙළුම් කුළුණේ ගසා කෑම ගැන මහින්ද දුන් පිළිතුර

Share

නෙළුම් කුළුණේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ගෙවා ඇත්තේ, එලිට් සමාගමට නොව, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් සමාගමට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු කියා සිටියේ, නෙළුම් කුළුණ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට නිර්දේශ වූ සමාගම් දෙකම සියයට සියයක්ම චීන ආණ්ඩුවට අයත් මහා පරිමාණ සමාගම් බවය.

එලිට් නමැති සමාගමක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබා දුන් රුපියල් බිලියන 2ක අත්තිකාරම් මුදල රැගෙන අතුරුදන් වූ බවට නෙළුම් කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ය.

2012 වසරේදී නෙළුම් කුළුණ භාරව සිටි ජනාධිපතිවරයා තමා බැවින්, ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, හැමවිටම මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී පාර්ශවය වූයේ එලීට් සමාගම නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් නමැති සමාගම බව ය.

ව්‍යපෘතිය ආරම්භ කිරීමට පෙර ණය ලබා ගන්නා රට අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන 15%ක මුදල ලෙස රුපියල් බිලියන 2ක් 2012 වසරේ ඔක්තෝබර් 9 වන දින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් සමාගමට යැවූ බව ලියැකියවිලිවලින් පෙනී යන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ, අදටත් නෙළුම් කුළුණේ වැඩ කටයුතු කරන්නේ එම මුදල් ලබා ගත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් සමාගම බව ය.

අද දක්වා සියලු ගෙවීම කර ඇත්තේ, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් සමාගමේ ගිණුමට බව අදාළ ලියැකියවිලිවලින් තහවුරු කර ගත හැකි බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

රුපියල් බිලියන 2ක් රැගෙන අතුරුදන් වූ චීන සමාගමක් පිළිබඳව තමන්ට අසන්නට ලැබුණේ පළමු වරට බවත්, නෙළුම් කුළුණ සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් මස පළ වූ පිටු 670ක විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ද එලෙස රුපියල් බිලියන 2ක් රැගෙන අතුරුදන් වූ චීන සමාගමක් ගැන සඳහනක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Read more

Local News