ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබුණු සහය පිළිබඳ ජනපති කෘතවේදිත්වය පළ කරයි

Share

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික Chen Min’er මහතා සහ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

වසර 60කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබුණු සහය පිළිබඳ මෙහි දී කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ පසුගිය යුද සමයේ දී චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සුවිශේෂී සහාය ද ශ්‍රී ලංකාව කිසිසේත් අමතක නොකරන බවයි.

අතීතයේ පටන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සමීප සබඳතාව සිහිපත් කළ Chen Min’er මහතා දෙරට අතර තානාපති සබඳතා ඇරඹීමට පෙර එනම් 1950 දී පමණ රබර් සහ සහල් ගිවිසුම ඇතිකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙකු ලෙස සිය රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදුන් බව ද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ ර්‍ණඑක් චීනයක්” යන ප්‍රතිපත්තිය සිය රටට ජාත්‍යන්තර වශයෙන් ලබාදුන් සහායක් බව ද ඒ මහතා සඳහන් කළේය.

දිළිඳුබව දුරලීමේ විශේෂඥයෙකු වශයෙන් ප්‍රකට Chen Min’er මහතා චීනයේ දිළිඳුබව තුරන් කිරීමට ගෙන ඇති පියවර පිළිබදව ද අදහස් දක්වමින් සඳහන් කළේ ග්‍රාමීය දුප්පත් ජනතාව සවිබල ගැන්වීමෙන් දිළිඳුබව තුරන් කිරීමේ සැලසුම් සාර්ථක වී ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින් පින් මහතා මේ සම්බන්ධයෙන් නිලධාරින්ට ඉලක්ක ලබා දී ඇතැයි සඳහන් කළ Chen Min’er මහතා එබැවින් එම ව්‍යාපෘති ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ද කියා සිටියේය.

චීන කොමියුනිට්ස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සබඳතා තර කර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

එහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මැදුම් පිළිවෙතේ සහ චීනයේ අසාහය නායක මාවෝ සේතුන්ගේ සමාජවාදී ප්‍රතිපත්තිය සංකලනයක් ලෙස බවයි. එම සමාජවාදී ප්‍රතිපත්ති ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සකස්කරගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින්නේ එම ප්‍රතිපත්ති නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසකට චීන කොමියුනිට්ස් පක්ෂයේ ඊළඟ සංවත්සරය සඳහා සහභාගි වන ලෙසද Chen Min’er මහතා ආරාධනා කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News