ඇල්පිටිය ඡන්ද විමසීම තහනම් කරන්නැයි ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (20) බුවනෙක අලුවිහාරේ, මුර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී වගඋත්තර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ නොතිසී තමන්වෙත නිසි පරිදි ලැබී නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් පෙත්සම්කරුවන්ට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 24 වනදා සිදුකරන බව නියම කළේය.

ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් හතරදෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි.

එබැවින් අදාළ දින නියම කිරීම නීතියට පටහැනි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම් යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙනතුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.