රූපවාහිනිය පවරා ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීමත් කල්යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට කටයුතු කිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 27 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (20) බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ඒස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බැවින් මේ සම්බන්ධයෙන් අද දින කරුණු දැක්වීමට තමන්ට අවසර දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පෙත්සම සලකා බැලීම 27 වනදා සිදු කරන බවයි.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර  විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පරිසර හා මහවැලි අමාත්‍යාංශය පමණක් බවයි.

එසේ තිබියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙන්වා දෙයි.

එබැවින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.