ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් නිදහස් කරයි

Share

ගාලු වරාය අසල මුහුදේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය විසින් කළ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (23) කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

කෙසේ වෙතත් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇතැයිද මහේස්ත්‍රාත්වරිය මෙහිදි පැවසුවාය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මඟහැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කරනු ලැබුවේ එහිදීය.

එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකාව නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ අදාල විත්තිකාරියට දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් ඇය නිදහස් කරනු ලැබුවද නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඇයගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු විසින් දුන් ලිඛිත අනුමැතියට අදාල පිටපත් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එම නඩුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙකුද ඇතුළත් ව සිටියි.

ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී.එගොඩවෙල යන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතර ඇතුළත්ව සිටිති.

Read more

Local News