රූපවාහිනිය පවරා ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීම කල්යයි

Share

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට කටයුතු කිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන මස 09 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (27) බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සුදුසු බව තීන්දු කළ විනිසුරු මඩුල්ල ඒ අනුව සලකා බැලීම ඔක්තෝබර් මස 09 වනදා දක්වා කල් තැබීමට තීරණය කළේය.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පරිසර හා මහවැලි අමාත්‍යාංශය පමණක් බවයි.

එසේ තිබියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙන්වා දෙයි.

එබැවින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News