හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවේ අවසන් තීන්දුව කල්යයි

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්. එන්.සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

මෙම පැමිණිල්ල අද (30) එල්. ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත්තේය.

එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම පැමිණිල්ල ද්වේශ සහගත අරමුණකින් පදනම් විරහිතව ඉදිරිපත් කර ඇති නිසා එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම මූලික විරෝධතාව පිළිබඳව තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ චන්ද්‍රගුප්ත තේනුවර, හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින්.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරනු ලැබූ තහනම් නියෝගයක් විවේචනය කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් එම වකවානුවේ කොළඹ, මරදානේ පැවති මහජන රැළියකදී අදහස් පළ කර ඇති බවයි.

ඒ තුළින්ට හිටපු අගවිනිසුරුවරයා අධිකරණයට දැඩි දෝෂාරෝපණ එල්ල කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බව පැමිණිලිකරුවන් කියා සිටියි.

ඒ නිසා ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවම් පමුණුවන මෙන් පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News