පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

Share

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත් භාවයක් ඇති කිරීම උදෙසා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පළමු වරට මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට පියවර ගැනිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුකාරවරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරු අතර අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මඟින් දේශීය සහ විදේශීය පර්යේෂණ කෘති අධ්‍යයනය කරමින් සහ පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ සියලූ ආයතන, සංවිධාන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ කටයුතු 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කරන ලදී.

දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය වෙනුවෙන් පළමු වතාවට ජාතික ප්‍රතිපත්තියක් හඳන්වාදීමට පියවර ගැනීම පිළිබඳ මෙහිදී සියලූ පළාත් ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.

පළාත් මට්ටමින් පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලූ මෙන්ම පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඒවායේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලූ පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එම ගැටලූ පිලිබඳ සාකච්ඡා කරමින් එළැඹිය යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළැඹිම සඳහා ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සියලූ ආණ්ඩුකාරුවරුන් සහභාගි කරවා ගැනීමට කටයුතු සළස්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News