තුන්වැනි වරටත් NSBM හරිත සරසවිය රන් සම්මානයෙන් පිදුම් ලබයි

Share

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන NSBM හරිත සරසවිය, සිය සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරමින් නැවත වතාවක් සිය වාර්ෂික වාර්තාව හා සේවා තත්ත්වය යන අංශ දෙක සඳහා ම ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබිය.
ඒ අනුව NSBM හරිත සරසවිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ 53 වැනි වාර්ෂික වාර්තා තරගයෙන් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය වෙනුවෙන් පිට පිටම තුන්වැනි වතාවටත් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා පළමු ස්ථානයට පත් වූ අතර ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන උළෙලේ හොඳම රාජ්‍ය සේවා ආයතනයට හිමි රන් සම්මානය ද හිමිකර ගත්තේය.
මෙම සම්මාන හා සහතික පත්‍ර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට පිරිනැමීමේ අවස්ථාව ඊයේ (19) අමාත්‍යංශයේ දී පැවැත්විණ. මෙහි දී අදහස් දැක් වූ ඇමතිතුමා මෙම ජයග්‍රහණ හා සම්මාන වෙනුවෙන් NSBM ආයතනයට සුභ පැතුම් එක්කළ අතර, නුදුරේදී ම NSBM ආයතනය කලාපයේ ප්‍රබල විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇතයි විශ්වාසය පළ කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් වන NSBM ආයතනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල රැසකට අනුබද්ධව ද කලමනාකරණ, පරිගණක හා ඉංජිනේරු යන විෂය ධාරා ඔස්සේ උපාධි පාඨමාලා පිරිනමයි.

Read more

Local News