හෙද පීඨයට මුල්ගල් තැබීම අද – 2020 වන විට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි

Share

හෙද නිලධාරීන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට එකතු කිරිම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන විශේෂ හෙද පීඨයට අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීම සිදු කරනු ලබයි. නව හෙද පීඨය වසර 2020 වන විට ඉදිකර අවසන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් මගින් රෝගී සත්කාර සේවාවන් ඉටු කිරීමේ දී ප්‍රමාණවත් හෙද නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුකොට ගෙන කාර්යක්ෂම සේවාවක් ලබාදීම ගැටලුවක් වී තිබේ. විශේෂයෙන්ම භෞතිකමය වශයෙන් සියලුම පහසුකම් රජය මගින් ලබාදුන්න ද දිවයින පුරා පිහිටි හෙද පුහුණු පාසල්වලින් වාර්ෂිකව සෞඛ්‍ය සේවාවට එකතුවන හෙද නිලධාරින් සංඛ්‍යාව වැඩි කරලීම අත්‍යාවශ්‍ය වී ඇත. එය හඳුනාගත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දිවයින පුරා පිහිටි හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත. ගාල්ල, අනුරාධපුරය, මහනුවර සහ කළුතර හෙද විද්‍යාල ඒ අනුව සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.
මෙම හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. හෙද පීඨය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 8 කි. එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමට නියමිතය. එම හෙද හෙදියන් සඳහා නේවාසිකාර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේයි. නේවාසිකාගාර ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 6.5 ක මුදලක් වැය කරයි. එහි ක්‍රීඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ද ඇතුලත් වෙයි. මෙම හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද හෙදියන් සඳහා බ්‍රිතාන්‍යයේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ද ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හෙද හෙදියන් බිහි කිරීමෙන් අනතුරුව අතිරික්තය විදේශීය හෙද සේවාව සඳහා යොමු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙම වැඩපිළිවෙළ පිළිබඳව වසර 10 ක පමණ කාලයක් සාකච්ඡා කළ ද මෙතෙක් එය ක්‍රියාවට නැංවීමට නොහැකි විය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු හෙද සේවාව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පියවර ගනු ලැබීය. මානව සම්පත් සංවර්ධනයේ දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය මෙන්ම හෙද සේවාව සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇත. 2015 අවසන් වන විට හෙද හෙදියන් 31535 ක් සෞඛ්‍ය සේවාවේ නිරතව සිටියි. මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් 258 ක් සේවයේ නිරතව සිටිති. මහජන සෞඛ්‍ය හෙද සේවාව වසර 20 කට ආසන්න කාලයක් සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක නොවූ අතර එය ක්‍රියාත්මක කිරීම ද ආරම්භ කළේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.
දැනට පවතින පුරප්පාඩු පිරවීම සඳහා හෙද හෙදියන් 10,000 ක් වත් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව හෙද සේවාව සඳහා මෙතෙක් සියයට 95 ක් බදවා ගනු ලබන්නේ කාන්තාවන් වෙයි. සියයට 5 ක් පිරිමින් වෙයි. එය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිමින් බඳවා ගැනීම වැඩි කිරිම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට ද කටයුතු යොදා ඇත.

Read more

Local News