ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් අද (06) බුවනෙක අලුවිහාරේ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම් ඉදිරිපත් කර තිබූ පූජ්‍ය අඟුරු වැල්ලේ ජිනානන්ද හිමියන් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මෙම නඩුව ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බැවින් එය පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අදාළ ඉල්ලීම අග විනිසුරුවරයා වෙත යොමු කිරීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවීමට නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.
පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ.
එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.