ලාෆ් ගෑස් සමාගමට විනිමය කොමිසමෙන් නඩු

Share

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි.‍

කෘතිම ලෙස වෙළෙඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් එවැනි වරදකට සහය දැක්වීම ඔවුන්ට එරෙහි චෝදනා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඔවුන්ට එරෙහි චෝදනාවලට වරදකරුවන් වුවහොත් වසර 5 ක උපරිමයක් දක්වා වූ සිරදඬුවමකට ලක් කිරීමේ හැකියාව පවති.

එසේ නොවුනහොත් රුපියල් මිලියන දහයක උපරිමයක් දක්වා වූ දඩයක් හෝ සිරදඬුවම් යන දෙකම නියම කළ හැකියි.

මෙම නඩුවේ චෝදනා එල්ලවී ඇත්තේ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ කොටස් තැරැව්කාර සමාගමක ආයෝජන උපදේශකවරයකුටයි.

මධ්‍යම තැන්පතු ගිණුම් උපයෝගී කර ගනිමින් 2011 වසරේ ඔක්තෝබර් 7 සහ 10 යන දිනවල ලාෆ් ගෑස් සමාගමේ කොටස් ඇණවුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙලෙස කෘතිමව වෙළෙඳපොළ මෙහෙයවීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව පෙන්වා දී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.

Read more

Local News