උපන් දිනයට දානයක් දෙන්න ආ දෙහැවිරිදි දරුව‌ෙ‌ක් ජීවිතක්ෂයට

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත්වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ආරියසිරි හංදිය ප්‍රදේශයේ දී අද (28) අලුයම සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා මිත්තනිය සහ මියගිය දරුවා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති අතර අද දිනට මියගිය දරුවාගේ අවුරුදු දෙකේ උපන් දිනය යෙදී තිබේ.

දරුවාගේ අදට යෙදී ඇති උපන් දිනය වෙනුවෙන් වැල්ලවාය හඳපානාගල ළමා නිවාසයට දානයක් ලබා දීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව වැල්ලවාය පොලීසිය සඳහන් කළේය.

අනතුරින් පසුතුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහරෝහල වෙත මිත්තනිය සහ මියගිය දරුවා මාරුකර යවා ඇති අතර මොණරාගල මහරෝහලට ඇතුළුත් කිරීමේදී දරුවා මියගොස් තිබේ.

රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුවී ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර තුවාල ලැබූවන් වැල්ලවාය සහ මොණරාගල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන විසින් සිදු කරයි.

Read more

Local News