බැසිල් රාජපක්ෂට විදේශ ගතවීමට අවසර

Share

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර දුන්‌නේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද (28) කැඳවනු ලැබුවේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 05 වනදා සිට ලබන වසරේ මාර්තු මස 6 වන දා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව වෙනුවෙන් ලිහිල් කරන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා විසින් විරෝධය පළ ක‌ළේ නැත.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ කාල සීමාව සඳහා බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය.

Read more

Local News