ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් (S.Jaishankar) මහතා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (29) පෙරවරුවේ හමු විය.

ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සඳහා ඉන්දියාව තෝරාගැනීම පිළිබඳව අමාත්‍ය ජයිශන්කර් මහතා ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කළේය.

අසල්වාසින් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මේ චාරිකාව සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවළෙට ඉන්දීය රජයේ පුර්ණ සහාය හිමිවන බව කියා සිටියේය.

ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට ගෙනයාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අපේක්ෂාව බව ජයිශන්කර් මහතා පැවසීය.

දෙරට අතර ව්‍යාපාරික සහයෝගිතාව ගැන සඳහන් කළ ඇමතිවරයා ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම ඊට අවශ්‍ය මුලික කොන්දේසිය බව කීය. එවිට විදේශ ආයෝජන පහසුවෙන් ගලා එනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.

නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ චාරිකාවක් සඳහා තමාට කළ ආරාධනය ගැන කෘතඥතාව පළ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සිය අපේක්ෂාව බව ප්‍රකාශ කළේය.