රෝයල්පාක් ඝාතකයාට විදෙස් ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය‌ෙ‌න් තහනම් නියෝගයක්

Share

රෝයල්පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා ජනාධිපති සමාව මත නිදහස් වූ  ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා විදේශගත වීම වළක්වාලමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම පෙත්සම අද (29) බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අදාල සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් දහසකට අධික පිරිසක් අතුරෙන් මෙම නඩුවට පාදක වන පුද්ගලයා පමණක් තෝරාගෙන සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කළේය.

ජනාධිපති සමාව ලැබූ මෙම පුද්ගලයා මේ වන විට විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම නැවත දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජූඩ් ශාන්ත නමැත්තා විදේශගතවීම වලක්වාලමින් ලබන 10 අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබූවේය.

එමෙන්ම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය ට නියම කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වන ජුඩ් ෂර්මන්ත ජයමාන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

එම සංවිධානය කියා සිටින්නේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් බරපතල අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් අදාළ විත්තිකරුට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බවට තීන්දු කොට එම විත්තිකරු නැවත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ විත්තිකරු විදේශගත වීම වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News