ගෝලීය සේවා සහයෝගීතාවය ශක්තිමත් කළ ‘චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය’ සාර්ථකව අවසන්

Share

සැප්තැම්බර් 9 වනදා සිට 13 වනදා දක්වා චීනයේ බෙයිජිං අගනුවර පැවති ‘2026 චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය’, සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර එකඟතාව තවදුරටත් ශක්තිමත්  කර ඇත.
මෙවර ප්‍රදර්ශනය අතරතුර සම්මන්ත්‍රණ සහ සංසද 100කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනැගීමේ සහ ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන් 100කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වූ බව චීන වාණිජ අමාත්‍යාංශයේ Zhu Guangyao, මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
මෙම සාර්ථක ප්‍රදර්ශනය මගින් චීනය, ඉහළ ප්‍රමිතීන් සහිත විවෘතභාවය පුළුල් කරමින්, ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩ කැපවීමකින් කටයුතු කරන බවට ලෝකයට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇතැයි  හෙතෙම සඳහන් කළේය.
කාණ්ඩ හතක් යටතේ, මෙවර ප්‍රදර්ශනයෙන් ප්‍රතිඵල 1,200කට වැඩි සංඛ්‍යාවක් අත්කරගෙන තිබේ. සම්පත් නිසි පාර්ශ්ව සමග ගැළපීම, හුවමාරු සහ සහයෝගීතාවය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීමට ද මෙවර ප්‍රදර්ශනය ඉවහල් විය.
සමාගම් 1,800කට වැඩි සංඛ්‍යාවක් එක් වූ මෙවර ප්‍රදර්ශනයේ තේමාව වූයේ, “ගෝලීය සේවා, පොදු සමෘද්ධිය” යන්නයි. ලෝකයේ දැවැන්තම සමාගම් 500ට අයත් Fortune Global සමාගම් සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත සමාගම් 470කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්විණ.
තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය, මූල්‍ය තාක්ෂණය, ඩිජිටල් හා කෘත්‍රිම බුද්ධි සෞඛ්‍ය සේවා, සුහුරු අධ්‍යාපනය, බලශක්ති සංරක්ෂණය සහ පාරිසරික ආරක්ෂාව ඇතුළු සේවා වෙළෙඳ ක්ෂේත්‍රවල නව තාක්ෂණයන්, විසඳුම් සහ නව නිර්මාණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

Read more

Local News