විමල් ගම්මන්පිල සහ දිලිත් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව හෙට දක්වා කල් තැබේ.

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී සලකා බැලුණි.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය.

” ස්වාමිනි, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 10 (1) (අ) වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදි වීඩියෝ දර්ශන පදනම් කරගෙනයි මගේ සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. එම වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ රඳවා ගැනීම සදහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳවයි මගේ සේවාදායකයා කරුණු දක්වා තිබෙන්නේ. අධිකරණය ගැන ඔහු වචනයක් වත් සඳහන් කර නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවා අධිකරණ බලය අවභාවිතයට ලක්කර තිබෙනවා. ඒ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කර තිබෙනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවසීය.

” අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා සිදුකළ බවට මෙම පැමිණිල්ල තුළින් මගේ සේවාදායකයාට චෝදනා එල්ලකර තිබෙනවා. අත්අඩංගුවේ දී තමා වධ හිංසාවලට භාජනය වූ බව පවසමින් සුරේෂ් සලේ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් කැඳවීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ඒ පිළිබඳව විවිධ අදහස් පළ කිරීම් ඇතිවුණා. සමාජ මාධ්‍යවලත් ඒ පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණා. පොලිස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක ආයතන. 2024 අංක 8 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් ලෙස අර්ථකථනය කර නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැරදි ලෙස එම පනත අර්ථකථනය කරමින් තමයි මේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේ. මේ කරුණු සලකා බැලූ විට මගේ සේවාදායකයා බැලූ බැල්මටම අධිකරණයට කිසිඳු අපහාසය සිදුකර නැහැ. වධකාගාරය යනුවෙන් සඳහන් කිරීම අධිකරණයට අපහාසය වන්නේ කොහොමද? මෙවැනි අනීතික උත්සාහයන් ඉඩ නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීය.

අනතුරුව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ වැඩිදුර කරුණු දැක්වීම් හෙට දිනට කල් තැබුණු අතර එම කරුණු දැක්වීම් අවසානයේ හෙට දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ද කරුණු දැක්වීමට නියමිතයි.

Read more

Local News