තම ධූරකාලයේ දී ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරනවා – ජනපති

Share

තම ධූරකාලයේ දී ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත් වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිවරයා, චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපතිභවන්හි දී මහත් හරසරින් සිදුකෙරිණි.

එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙක් වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරු දෙපළ අතර හමුව සිදුවිය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශීංසන පළ කළ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය.

නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බව ද පැවසීය.

මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් (S.Jaishankar) ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh) යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වුහ.

ඉන් අනතුරුව රාජ් ගාත්(Raj Ghat) වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්විය.

විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වු සැමරුම් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදුකෙරිණ.

Read more

Local News