අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ජනතාවට විශේෂ වැඩපිළිවෙලක්

Share

අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

අයහපත් කාලගුණ තත්වයන් හේතුකොටගෙන මේ වනවිට දිස්ත්‍රික්ක 9 ක ජනතාව ආපදා තත්වයට ලක්ව ඇති අතර මඩකලපුව, නුවරඑලිය, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව ඇත.

ඒ පිළිබඳව අවධානය යොමුකර අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌මේ බව පැවසුවේ, අද (02) පෙරවරුවේ පසුගිය දිනවල ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් අවතැන් වුවන් හා ඇතිවූ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒවා වලක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවා තිබු හමුවේදීය.

අයහපත් කාලගුණයෙන් අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීම හා ඔවුන්ගේ සනීපාරක්ෂක තත්වයන් පිළිබඳව නොපමාව කටයුතු කරන ලෙස හා පීඩාවට පත්වූවන්ට වියලි ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම ආපදාවට ලක්වූ දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස පැවසීය.

එමෙන්ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය මේ දිනවල පවතින බැවින් විභාගයට පෙනී සිටින සිසුනට තම විභාග මධ්‍යස්ථාන වලට යාමට නොහැකිනම් විකල්ප විභාග මධ්‍යස්ථාන ලබාදෙන ලෙසද උපදෙස් දෙන ලදී.

Read more

Local News