2018 වසරේ මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කෙරේ – මහවැලි අධිකාරිය

Share

2018 වසරේ මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය තීරණයකට එළඹී ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

මාදුරුඔය දකුණු ඉවුර ඇල මුලින් සැළසුම් කරන ලද්දේ දැනට වගාකෙරෙන හෙක්. 1,800 කට හා නව ගොවිබිම් හෙක්. 1,400 කට වාරි ජලය ලබාදීමට වුවත් කාලයත් සමඟ වාරි පහසුකම් සහිත කෘෂිකාර්මික කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බිම් ප්‍රමාණය දළ හා ශුද්ධ ප්‍රදේශය වශයෙන් පිළිවෙළින් හෙක්. 12,000 ක් හා 10,000 ක් පමණ වෙයි.

එමෙන්ම හෙක්. 10,000 ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70% ක් උක් වගාව සඳහා වෙන්කෙරෙන අතර ඉතිරි 30% වී හා වෙනත් ක්ෂේත්‍ර භෝග වගාව සඳහා භාවිතා කෙරෙනු ඇත.

ඒ අනුව ගොවිපවුල් 9,000 ක් හා ගොවි නොවන පවුල් 2,800 ක් පමණ පදිංචි කිරීම සඳහා වාරි පහසුකම් සහිත ගොවිබිම් සකස් කිරීම හා සමාජයීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි.

ඊට අමතරව වාරි පහසුකම් සහිත කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කිරීමත් ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් හා ඒ තුළින් සමස්ත රටේම ආර්ථික සමෘද්ධිය සඳහා දායක වීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබන මුලු ආයෝජනය ඇමෙරිකන් ඩොලර් 475,000,000කි.

Read more

Local News