ජය පරාජයන් සමව විද දරා ගනිමින් සාර්ථක පුරවැසියෙකු බවට පත් විය යුතුයි – අධ්‍යාපන අැමති

Share

ජය පරාජයන් සමව විද දරා ගනිමින් සාර්ථක පුරවැසියෙකු බවට පත් වී රට වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට කැපවීම සියලු දරුවන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වී ඉහළ ප්‍රතිඵල ලැබූ දරුවන්ගේ දක්ෂතා අගයන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු වල දී ද එම දක්ෂතාවන් සහ උනන්දුව පවත්වා ගනිමින් විශිෂ්ටයින් බවට පත්වන්නට අදිටන් කරගත යුතු බව ද සිහිපත් කළේ ය.

රජයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කැපවෙන බවත් එහි උපරිම ඵල නෙළා ගැනීමේ වගකීම දරුවන් සතු බවත් සඳහන් කරයි.

පාසල් අධ්‍යාපන පද්ධතියේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා දියත් කොට ඇති ළගම පාසල හොඳම පාසල වැනි වැඩසටහන් මගින් නාගරික ජනප්‍රිය පාසල් වෙනුවට ග්‍රාමීය පාසල් සංවර්ධනය සඳහා රජය මේ වන විට පියවර ගෙන ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර උසස් පෙළ විභාගයේ මෙන්ම පසුගිය කාලයේ පැවැති පාසල් කඩඉම් විභාග වලදී ඉහළ ප්‍රතිඵල ලැබූවන් බොහෝ දෙනෙකු අගනුවර ජනප්‍රිය පාසල්වලින් නොව ඉන් බැහැර පාසල්වලින් බිහිවී තිබීම පිළිබඳව ද තමා සතුටට පත්වන බව ද  පැවසීය. මේ හරහා අධ්‍යාපනයේ සම අයිතීන් විෂමතාවකින් තොර ව දරුවන් අතට පත් කිරීමේ රජයේ වෑයමෙහි සාර්ථකත්වයක් පිළිබිඹු කරන බව ද අමාත්‍යවරයා  සඳහන් කළේ ය.

මෙවර උසස් පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථයන් ලබාගත් දරුවන් සේම ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට අපොහොසත් වූ දරුවන් සම්බන්ධයෙන් ද අදහස් පලකළ අධ්‍යාපන අමාත්‍යවරයා, ජයග්‍රහණයන් සාර්ථක ජයග්‍රහණයන් බවට පත්වන්නේ පරාජයන්ට මුහුණ දීමෙන් ලබා ගන්නා පන්නරයෙන් බව ද පෙන්වා දුන්නා. එමෙන් ම ලෝකය තම දැනුමෙන් සහ හැකියාවන්ගෙන් දිග්විජය කළ ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, සුචිරෝ හොණ්ඩා වැනි පුද්ගලයන් රැසක් පරාජයන් හමුවේ නොසැලි ජීවිතය ජයගත් ආකාරය ආදර්ශ කර ගැනීමේ වැදගත්කම ද සිහිපත් කළේ ය.

අවශ්‍ය වන්නේ නිවැරදි අවබෝධයෙන් යුක්තව යහපත් පුරවැසියෙකු ලෙස නිවැරදි දේ සිදුකරමින් ජිවිතය ජයගත හැකි අදිටනින් යුතු ව කටයුතු කිරීම බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබූ සියලු දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම සාර්ථක අනාගතයක් සඳහා ද සුභ පැතුම් එක් කළේ ය.

Read more

Local News