ජනපති ප්‍රධානත්වයෙන් “මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017”

Share

“මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.
බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා හා කුසලතා දක්වන ලද රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ඇගයීමට ලක් කිරීම හා දිරිගැන්වීම තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය නිවැරදි දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණි.
සම්මාන ඛාණ්ඩ 08 ක් යටතේ රන් සමාන 13 ක් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීව වායු තාක්ෂණය හඳුන්වා දුන් මිය ගිය ජී.කේ. උපවංශ මහතාට හිමි “මිහිසරු ස්වර්ණාභිමාන” විශේෂ සම්මානය ඔහුගේ පුත් සාගර දේශප්‍රිය උපවංශ මහතා වෙත පිරිනැමීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි.
බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් පරිසරය සුරැකීමේ පරමාදර්ශය ලබාදුන් පානදුර, නල්ලුරුව පෙර පාසලට හිමි “පරිසර කැකුළු” ප්ලැටිනම් සම්මානය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
“මිහිසරු හරිත නාමාවලිය” එළිදැක්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

Read more

Local News