අලි ඇතුන්ගෙන් සිදුවන විනාශයන් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කිරීමට පියවර

Share

අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක කිරීමටත් යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන් ඉවත් කිරීමටත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට යොදවා ඇති අලි ඇතුන් සඳහාත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන බවත් බුද්ධශාසන, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට විදුලි වැටවල් අලුත් වැඩියා කිරීමට, සංරක්ෂණය කිරීමට පැවරී ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් ඉවත් කර එම මුදල් ගමේ ජනතාවට ලබාදී විදුලි වැට ආරක්ෂා කිරීම ගම්වාසීන්ට ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද බුද්ධශාසන, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයා කියා සිටියේය.

වන සතුන්ගෙන් සිදුවන හානිය හා වගා විනාශයන් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කිරීමටත් වගා වන්දි සඳහා අක්කරයකට රුපියල් විසිපන්දාහ බැගින් ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි මුදල් ලබාදීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇති බව ඇමැතිවරයා කීය.

වෙහෙර විහාරස්ථානවලින් ඉල්ලුම් කර ඇති අලි පැටවුන් 70ක් පමණ එම ස්ථානවලට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මේ දිනවල එම විහාරස්ථානවලට අලි ඇතුන් නඩත්තු කිරීමේ හැකියාවක් ඇත් දැයි සොයා බැලීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන්ගේ පිට මත මිනිසුන් 04 දෙනකු පමණක් රැගෙන යා හැකි බවත් දවසේ පැය කීපයක් මේ සතුන්ට නිදහසේ සිටීමට ඉඩ ලබාදෙන නීති පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවැසීය.

Read more

Local News