ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කළ අලුතින් ඉදිකරන ලද හා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද නිවාස 28 ක් සමගින් සියලු ගොඩනැගිලි සහිතව මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙප්පපිලව් ග්‍රාමයේ අක්කර 133.34 කින් යුත් ඉඩම් ප්‍රමාණයක් පෙරේදා (28) පැවැති උත්සවයක දී සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කරන ලදි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී. සෙන්තිලන්දන් මහතා සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කෙතිෂ්වරන් මහත්මිය වෙත ඉඩම් නිරවුල් කිරීමේ සහතික සංකේතාත්මකව භාර දෙනු ලැබීය.

යුද්ධ හමුදාව එම ඉඩම් අත්පත් කර ගත් වකවානුවේදි එහි ගොඩනැගිලි 8 ක් සහ එක් අත්තිවාරමක් තිබූ අතර, පසුව හමුදාව විසින් එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනු ලැබු අතර සහ එම ඉඩම් හිමියන්ගේ කැමැත්ත මත ස්ථීර නව නිවාස 20 ක් ද එම නිදහස් කරන ලද අක්කර 133.34 ක ප්‍රමාණය තුල ඉදිකර දෙන ලදි.
මේ අවස්ථාවේදී කෙප්පපිලව් හි අක්කර 111.05 ක කොටසක් නිත්‍යානුකුල ඉඩම් අයිතිකරුවන් 68 දෙනෙකු වෙත මුදා හරින ලද අතර, ඉතිරි අක්කර 21.84 ක ප්‍රමාණය සීනියාමොටෙයි ගම්මානයේ ඉඩම් අයිතිකරුවන් 17 දෙනෙකු වෙත මුදා හරින ලදි.
2009 මානුෂීය මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු සන්නද්ධ හමුදාවන් විසින් භාවිතා කරන පෞද්ගලික දේපළ ක්‍රමයෙන් නිදහස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද අතර, සංහිඳියාව සහ වාර්ගික සහජීවනය ඇතිකිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කර ඇත.
මුලතිව් දස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරන් මහත්මිය, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් එස්. ගුණබාලන් මහතා, මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරි අයි.ඩබ්.ජී.ආර්.ඩබ් කන්දෙවත්ත, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් සී.එස් ඇටිපොළ, මුහුදුබඩ පත්තු ඉඩම් භාර නිලධාරි එස්. සර්වානන් මහතා, කෙප්පපිලව් ග්‍රාම සේවා නිලධාරි එස්. මොහන්රාජ් මහතා සහ සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.