පාසල් ක්‍රිකට් දියුණු කිරීමේ තුන් අවුරුදු ජාතික සැලැස්ම එළිදක්වයි

Share

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැති පාසල් ක්‍රිකට් දියුණු කිරීමේ තුන් අවුරුදු ජාතික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියේ තෝතැන්න පාසල වන බැවින් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමට මේ පියවරගත් බව කී ඇමැතිවරයා මෙය පිටුපස කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ කඳවුරක් නොමැති බවත් කීය. මේ සඳහා විශේෂඥ දැනුම අත්‍යාවශ්‍ය බැවින් ඊට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගේ වෘත්තීය දැනුම මූලික කරගත් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය පහසුකම් සපයන්නා ලෙසත්, අධීක්ෂකයා ලෙසත් කටයුතු කිරීමට තීරණය කළ බවත් ඒ මහතා පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව සෙසු ක්‍රීඩාද පාසල් මට්ටමින් දියුණු කිරීමට තමා නායකත්වය ලබාදෙන බව සිහිපත් කළ ඇමැතිවරයා පාසල් ක්‍රිකට් සංවර්ධනයට අවධානය යොමුකළේ මෙරට කීර්තිනාමය ක්‍රිකට් ක්‍රීඩාව මතද ගොඩනැගී ඇති පසුබිමක බවයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පහසුව සඳහා ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී බදු සහන ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තුවන බව පැවැසීය.

“පාසල් ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අඩිතාමලයි. ගොඩක් පාසල් ක්‍රීඩකයන්ට දෙමාපියන්, පුහුණුකරුවන් එක් එක් පැතිවල සිට නායකයාට, පන්දු යවන්නන්ට උපදෙස් දෙනවා. ඒකෙන් ක්‍රීඩකයාට තමන් සිතීමේ හැකියාව නැති වෙනවා. ඔහු බලනවා කවුද මොනවද කියන්නේ, මම ඒ දේ කළ යුතුයි කියලා. නවීණ ක්‍රීඩකයාගේ සැලැස්ම එය නොවෙයි. නවීණ ක්‍රීඩකයා තමන් විසින්ම සිතිය යුතුයි ඒ අවස්ථාවට ඔහු පත්කළාම කොහොමද හැසිරෙන්නේ කියලා. තරග ජය ගැනීම පමණක් නෙවෙයි වැදගත් වන්නේ, ක්‍රීඩකයන් බිහි කිරීමයි. පාසලෙන් බිහිවන ක්‍රීඩකයා තමයි කවද හරි දවසක ජාත්‍යන්තර ක්‍රීඩකයකු බවට පත්වන්නේ” මේ අවස්ථාවට එක්වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පැවැසීය.

මෙහිදී පාසල් ක්‍රිකට් දියුණු කිරීම සඳහා සකස් කළ තුන් අවුරුදු ජාතික සැලැස්ම ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන ජයන්ත සෙනෙවිරත්න මහතා අතින් අධ්‍යාපන ඇමැතිවරයාට පිරිනැමීම සිදුකෙරෙණි.

මේ සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම හා මහේල ජයවර්ධන සමගින් ක්‍රීඩා බලධාරීන් ඇතුළු පාසල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කරමින් නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.

Read more

Local News