ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා හැකියාවන් හොඳින් අධ්‍යයනය කළා – නුදුරු අනාගතයේදීම ඔවුන් දැනට වඩා උපරිමයෙන් දක්ෂතා පෙන්වනු ඇත

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා හැකියාවන් තමා හොඳින් අධ්‍යයනය කළ අතර, නුදුරු අනාගතයේදීම ඔවුන් දැනට වඩා උපරිමයෙන් දක්ෂතා පෙන්වනු ඇති බවට තමාට සියයට සියයක්ම විශ්වාස යැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ප්‍රථම පුහුණු සැසි වාරයෙන් පසුව ප්‍රකාශ කර තිබේ.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ප්‍රථම පුහුණු සැසිවාරය මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. පුහුණු සැසියෙන් පසුව වැඩිදුරටත් අදහස් දැක් වූ චන්දික හතුරුසිංහ “ක්‍රීඩකයනගේ විනය පිළිබඳව මා දැඩි සැලකිල්ලක් දක්වනවා. අතීතයේ දී ඔවුන් කළ කී දේ වැඩක් නෑ. සාර්ථක ප්‍රතිඵල ගන්න අනාගතයේ දී දැඩි විනයක් ද අවශ්‍යයි.”

“මාගේ පළමු තරගාවලිය ලෙස බංග්ලාදේශ තරගාවලියම ලැබීම සතුටක්.  ඔවුනගේ හැකියාවන් මා දන්නා තරමටම මා හිතන ආකාරයත් බංග්ලාදේශ ක්‍රීඩකයන් දන්නවා. එම සංචාරයට තව ඇත්තේ සති දෙකයි. ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන ක්‍රිකට් තරගවලට සහභාගී නොවන්නැයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයනට මා කීවේ අපට බංග්ලාදේශයේදී මුලින් ම සුදු පැහැති පන්දුවෙන් එක්දින තරගවලට සහභාගි වීමට ඇති නිසයි. ටෙස්ට් තරගාවලිය පැමිණි විට ඊට අවශ්‍ය ලෙස පුහුණුවීම් සහ තේරීම් සිදු කිරීමට අපේක්ෂා කරනවා.”

“ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මට හිමි වූයේ නියමිතම වේලාවටයි. ඔවුන් දැන් සිටින තත්ත්වයෙන් ඉහළට එසවීමට හැකි බව මා හට හොඳටම විශ්වාසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ලැබීම ගෞරවයක් වගේම ආඩම්බරයක්. ඒ ව‍ගේම රට වෙනුවෙන් සේවය කිරීමට ලැබීමත් සතුටට කරුණක්. ලංකා ක්‍රීඩකයන් දැන් පසුවන්නේ දැඩි උනන්දුවකින්. මාගේ අදහස්වලටත් ඔවුන් හොඳින් ගරු කරනවා.”

“කණ්ඩායමට එක් නායකයෙකු දිගටම සිටීම වැදගත්.  ඒත් දැනට ඇති තත්ත්වය අනුව මේ තරගාවලි දෙක මෙසේ ගතවේවි.  ඉදිරියේ දී එය සාර්ථක ලෙස සැකසේවි.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News