ගුවන් හමුදාවට ඉහළ අත්දැකීම් සම්භාරයක් තිබෙනවා

Share

ලෝකයේ සිටින ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්කර ඉහළ අත්දැකීම් සම්භාරයක් ලබාගත් ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (17) ගුවන් හමුදා නිළධාරීන් අධිකාරියට පත්කිරීමේ හා පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළැඳවීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරායේ පැවැති උත්සවය අමතමිණි.

යුද්ධය පවතින අවස්ථාවල මෙන්ම සාමය පවතින අවස්ථාවලද ත්‍රිවිධ හමුදාවට විශාල කාර්යය භාරයක් පැවරෙන්නේ යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදි පැවසීය.

ගංවතුර වැනි ආපදා අවස්ථාවලදී ගුවන් හමුදාව කරන මානුෂීය මෙහෙවර විශේෂයෙන් අගය කළ යුතුව ඇති අතර එවැනි අවස්ථාවල ගුවන් හමුදාව කරන කාර්යයභාරය කිසිවෙකුට කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රටේ වෙරළ තීරය ආරක්ෂා කිරීම, මුහුදු සීමාවට ඇතුල්වන විදේශීය යාත්‍රා සම්බන්ධයෙන් විමසිලිමත්වීම මෙන්ම  කැලෑ කපා නොයෙකුත් අනවසර දේ වගාකිරීම් ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමටද ගුවන් හමුදාවේ සහාය හිමිවන බව අග්‍රාමාත්‍යවරය අවධාරණය කළේය.

ගුවන් ප්‍රහාරක හැකියාව තිබුණු ලොව එකම ත්‍රස්තවාදී කණ්ඩායම වූ එල්.ටී.ටී.ඊ ය ලොව භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම්කර තිබියදීත් පරාජය කිරීමට හැකි වූ බවද සිහිපත් කළ අගමැතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවද කීවේය.

මේ නිසාම ගුවනින් කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් කිසිදු හමුදාවකට නැති අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සුරකිමු ලකඹර පාඨය තේමා කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන සුරකිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වීමට කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ කෙඩෙට් නිලධාරින් හා නිළධාරිණියන් අධීකාරියට පත්කිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

පියාසර කෙඩෙට් නිළධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන් 10ට පියාසර ලාංඡන පැළෑඳවීමද මෙහිදී සිදුවූ අතර අංක 59 කැඩෙට් නිළධාරී පාඨමාලාවේ දක්ෂතම කැඩෙට් නිළධාරී ලෙස පයිලට් ඔෆිසර් එන්. ජී. බී. අයි පතිරාජ සහ අංක 60 කෙඩෙට් නිළධාරී පාඨමාලාවේ දක්ෂතම කෙඩෙට් නිළධාරී ලෙස පයිලට් ඔෆිසර් ආර්. එම්. ජී. කේ. ඩී. රත්නායක යන නිළධාරීන්ට විශේෂ සම්මාන ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඡඔ -6 වර්ගයේ ගුවන් යානා යොදාගනිමින් ගුවන් කරනම් සංදර්ශනයක්ද, ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සමඟ එක්ව විචිත්‍රවත් සරඹ සංදර්ශනයක්ද මෙහිදී ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් නිළධාරීන් හා සෙසු නිළයන් ද ආධුනික කෙඩෙට් නිළධාරීන්, නිලධාරිනියන්, අධිකාරියට පත් නිළධාරීන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Read more

Local News