2020දී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්

Share

උසස් පෙළින් පසු සිසුන් වැඩි පිරිසක් නරාවලට ඇඳ  දමන ක්‍රමයේ වෙනසක් ඇති කරමින් කුසලතා  පිරිපුන් තාරුණ්‍යයක් සැකසීමෙන් පසු මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද (20) දින හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලට වසර 09ක් පිරීම නිමිත්තෙන් සහ අලුතින් ඉදි කරන ලද පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි මේක 2011 ජනවාරි 20වැනි දින එවක අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කරන විට උදේ 7.30 සිට හවස 3.30 දක්වා වැඩ වේලාවක් අධ්‍යාපනය ලබා දෙන,  සෑම දරුවෙක් ම දිනපතා බත් පාර්සල් 02ක් රැගෙන එන, පාන්පිටි ආශ්‍රිත කෑම තහනම් කළ, ලන්ච් ෂීට් වැනි පරිසරයට අහිතකර දෑවලින් තොර වුණු ආදර්ශ විද්‍යාලයක් ලෙස සැලසුම් කරලයි තිබුණේ. නමුත් 2015න් එය ආදර්ශ පාසලක් බව අමතක කරමින් පසු එහි අනවශ්‍ය වෙනස්කම් රැසක් කළා. අද අපි විවෘත කළ ගොඩනැඟිල්ලේ  ආකෘතිය පවා වෙනස් කරමින් ප්‍රමාණය ද කුඩා කරමින් මෙම ගොඩනැඟිල්ල හෝ ලබා දීම පිළිබඳ පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍යතුමාට ස්තූති වන්ත වෙනවා.

මෙම ආකෘතියේම පාසල් සියලුම දිස්ත්‍රික්කවල ඉදිකිරීම සඳහා අපේ රජය කටයුතු කරනවා. එසේම දෙමළ භාෂා ගුරුවරුන් ද බඳවාගැනීමෙන් අනතුරුව ද්‍රවිඩ භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන්ට ද අධ්‍යයන කටයුතු සිදු කළ හැකි පරිදි අංග සම්පූර්ණ තෛභාෂා පාසලක් බවට මෙම ආදර්ශ විද්‍යාල පත් කිරිම ද අප රජය මඟින් කටයුතු කරනවා. මේ පාසල ඔප්පු කොට තිබෙනවා එහි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල අනුව අදාළ ඉලක්කයන් සඳහා ගමන් ගන්නා විද්‍යාලයක් බවට. වෙනත් කිසිම වටපිටාවක නැති වටපිටාවක් මෙම විද්‍යාලය සතුව පවතිනවා. හරිත සරසවිය, නැනෝ තාක්ෂණික ආයතනය, කිරුම්-මිනුම් පර්යේෂණ ආයතනය, ටෙලිකොම් දත්ත ගබඩාව ආදී සුවිශේෂී ආයතන රැසක් මේ අවට ඉදි කොට තිබෙනවා.

එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මේ වනවිට ඉදි වී තිබෙන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ද දැන් මෙහි ඉදිවෙනවා.වාර්ෂිකව ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරමින්, දැනට වාර්ෂිකව උසස් පෙළ සමත්වන සිසුන්ගෙන් බහුතරයක් නරාවලට වැටෙන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දෙමින්, කුසලතා පිරි, රැකියාභිමුඛ උගත් තාරුණ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය  වෙනස්කම් උසස් අධ්‍යාපනයේ සිදු කරනවා.

ඒ අනුව 2020 දි  මෙරට උසස් අධ්‍යාපනයේ  විප්ලවීය වෙනසක් ඇති කරනවා. ඒ නිසාම සියලු දෙනාටම  සතුටෙන්  පවසන්නේ “හෙට එච්චර කළුවර නෑ“ කියලයි. යනුවෙන්  අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

Read more

Local News