නිදහස් උත්සව පෙරහුරුව නිසා මාර්ග කිහිපයක් තාවකාලිකව වැසේ

Share

නිදහස් දින සැමරුම් උත්සව පෙරහුරුව හේතුවෙන් නිදහස් චතුරස්‍රය සහ අවට පිහිටි මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

 

72 වන නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි 04 වැනිදා නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එහි පළමු පෙරහුරුව අද (26) උදෑසන 8.30ට සිදුකරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එබැවින් උදෑසන 7.30 සිට පෙරහුරුව අවසන් වන තෙක් මාර්ග කිහිපයක් වසා තැබීමට සැලසුම් කර ඇත.

පුස්තකාල වටරවුමේ සිට හෝටන් වටරවුම දක්වා මාර්ගය වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම එෆ්.ආර්.සේනානායක මාවත, කන්නන්ගර මාවත හංදියෙන් සහ ධර්මපාල මාවත හංදියෙන් වසා තැබීමට නියමිතයි.

සොයිසා වටරවුමෙන් කන්නංගර මාවතට වාහන ඇතුළු කිරීමට ඇති මාර්ගය ද නන්දා මෝටර්ස් හංදියෙන් නෙළුම් පොකුණ වටරවුම දෙසට වාහන ඇතුළු කිරීමට ඇති මාර්ගය ද වසා තැබෙයි.

120 බස් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඉබ්බන්වල හංදියෙන් ලිප්ටන් වටරවුම දෙසට පිවිස ධර්මපාල මාවත ඔස්සේ රතු කුරුස හංදිය, පුස්තකාල වටරවුම ඔස්සේ ගමන් කළ යුතු වෙයි.

ග්ලාස් හවුස් හංදිය ඔස්සේ කොළඹ දිසාවට ගමන් කරනු ලබන සියලුම වාහන වම් පසට හරවා පුස්තකාල වටරවුම ඔස්සේ ධර්මපාල මාවතෙන් හෝ ලිබර්ටි වටරවුම හරහා ගමන් කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.

බොරැල්ල සිට හෝටන් පෙදෙස ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුම හරහා ද බෞද්ධාලෝක මාවත හරහා ගාලු පාර දෙසට ද ගමන් කළ හැකි වෙයි.

Read more

Local News