කොරෝනා නිසා මියගිය ගණන 54ක් දක්වා ඉහළට

Share

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ තවත් පුද්ගලයින් 1700කට අධික පිරිසකට වෛරසය අසාදනය වී ඇති බවත්, ඉන් පුද්ගලයින් 237 දෙනෙකුගේ තත්වය බරපතල බවයි.

මේ වන විට ලෝකයේම අවධානයට යොමු වී ඇති මාරාන්තික කොරෝනා වෛරසය පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් පළමුවරට වාර්තා විය.

අමෙරිකාව, ප්‍රංශය, දකුණු කොරියාව, ජපානය, සිංගප්පුරුව, තායිලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන් ද කොරෝනා වෛරසය අසාදිත වු පුද්ගලයින් වාර්තා වුණි.

දකුණු ආසියානු රාජ්‍යයකින් පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ නේපාලයෙන්.

මේ අතර කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

Read more

Local News