චීනයේ සිට අමුද්‍රව්‍ය ආනයන දින නියමයක් නොමැතිව ප්‍රමාද වෙයි

Share

2020 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 54.0 ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් වල සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු විය.

නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිලදී ගැනුම් යන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි විශේෂයෙන්ම, උත්සව සමය නිමාවීමත් සමග ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි පැවති ඉල්ලුම පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, චීන නව අවුරුදු නිවාඩුව හේතුවෙන් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි තොග මිලදී ගැනුම් වර්ධනය මන්දගාමී වූ බව නිරීක්ෂණය කළ හැකි විය. වඩා හොඳ රැකියා අවස්ථා සඳහා සමහර සේවකයින් සේවය හැර යාම, සේවා නියුක්තියෙහි පහළ යාම කෙරෙහි හේතු විය.

මේ අතර, විශේෂයෙන්ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාම තුළින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වර්ධනය සමග අමු ද්‍රව්‍ය කෙරෙහි ඇති වන ඉල්ලුම ඉහළ යාම පිළිබිඹු කළද, ජනවාරි මාසයේ සිදුවූ මෙම ප්‍රමාදයන් සඳහා චීනයේ ඇතිවූ නව කොරෝනා වෛරසයේ (COVID-19) බලපෑම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, මේ හේතුවෙන් චීනයේ සිට ආනයනය කරන අමු ද්‍රව්‍ය ඇනවුම් දින නියමයක් නොමැතිව ප්‍රමාද වූ බව මෙම අංශයේ බොහෝමයක් ප්‍රතිචාර දක්වන්නන් විසින් අවධාරණය කරන ලදී.

සේවා නියුක්තිය උප දර්ශකය හැර ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සමස්ත වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

විශේෂයෙන්ම ඇඟළුම් නිෂ්පාදකයින් සඳහන් කළ පරිදි නව කොරෝනා වෛරසය මගින් ගෝලීය සැපයුම් පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇති කළද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සමස්ථ අපේක්ෂාවන් පෙර මාසය හා සැසඳීමේදී සුළු වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

Read more

Local News