රජයේ විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට

Share

රජයේ විශ්‍රාමිකයින් සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර සඳහා දුම්රියේ ආසන වෙන් කිරීම (E- Ticketing) මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට ලබා දීම අද (19) සිට ඇරඹෙයි.

 

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ගේ නිර්දේශය මත හා  ප්‍රාදේශීය ලේකම් ගේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි.

මෙම දීර්ඝ පටිපාටිය නිසා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මහත් අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවීම හේතුවෙන් එම තත්ත්වය තුරන් කර දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට සිදු කර ගැනීමේ පහසුකම් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දින ආරම්භ කරනු ලැබීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එම සේවාව අද දින ආරම්භ කරන ලද්දේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් විසින් මෙතෙක් මුහුණ දී සිටි දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ එම ගැටළුව අවසන් කිරීමට පියවර ගෙන තිබෙන අතර ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ රටේ ජනතාවට සේවාවන් ලබා ගැනීමේ දී ඒවා සංකීර්ණ තත්ත්වයට පත් කිරීම නොව සැහැල්ලු හා සරල ක්‍රමයට එම සේවාවන් මහජනතාවට ලබා ගැනීමේ පහසුකම් පුළුල් කිරීම බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

ඒ අනුව මේ වනවිට ආයතනගත සේවාවන් ඉතාමත් කාර්යක්ෂම හා සරලව ඉටු කර ගැනීමට විද්‍යුත් උපාංග සවි කරමින් රාජ්‍ය සේවාව නවීකරණය කිරීම අරඹා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News